BLANTERORBITv101

ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ

 


✝️ කතෝලික සභාව විසින් "ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ" හට මෙතරම් උතුම් වු වන්දනාවක් සහ නමස්කාරයක් ලබාදෙන්නේ ඇයි?🙏

1:👉පුරාණ ගිවිසුම තුළ දේව  වන්දනාවේ කේන්ද්‍රස්ථානය වුයේ ජෙරුසලම් දේව මාළිගයයි.නමුත් උන්වහන්සේ තමන්ගේ ශරීරය නැමැති "දේව මාළිගය" නැමැති දේව මාළිගය පිළිබදව ප්‍රකාශ කළ නිසා

📕19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ''මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි''යි වදාළ සේක.📕21 එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය.(  ජොහන් 2 : 19, 21 )

2:👉පුරාණ ගිවිසුම තුළ දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය හිමිවුයේ යාග පුජාවන් සදහාය. නමුත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රි රුධිරය එකම "යාගයක්" කොට ඔප්පු කළ නිසා.

📕22 ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ''ගන්න, මේ මාගේ ශරීරය ය''යි වදාළ සේක.📕23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.📕24 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.( මාක් 14 : 22- 24 )

3:👉 දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු මුල් කිතුනු සභාවේ"විශ්වාසයේ" ප්‍රධානම සළකුණ වු නිසා.

📕46 තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද කල්ගත කළහ.( ක්‍රියා 2 : 46)

4:👉උන්වහන්සේ "සිහිකිරීම" සදහා උන්වහන්සේ විසින්ම ස්ථාපිත කරන ලද එකම යාගය එයම පමණක් වන නිසා.

📕19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ''ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ''යි වදාළ සේක.( ශුද්ධවර ලූක් 22 : 19)

5:👉ජේසුස් වහන්සේ විසින්ම වදාල පරිදි"නව ගිවිසුම" යනු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේම වන නිසා

📕20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ''මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.( ශුද්ධවර ලූක් 22 : 20)

6:👉එය අපෝස්තුළුවරුන් විසින් පවත්වාගෙන ආ "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" වන නිසා.

📕23 මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන,📕24 ස්තුති කොට, කඩා: ''මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක.(1 කොරින්ති 11 : 23, 24)

7:👉එය සභා "ඒකත්වය" ප්‍රකාශ වන ප්‍රධානම සංකේතයක් වන නිසා

📕17 රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.(1 කොරින්ති 10 : 17)

8:👉ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු උත්ථාන වු ක්‍රිස්තුස් වහන්සේ හදුනාගැනීමේ සහ අත් දැකීමේ   "ජීවමාන සළකුණ" වන නිසා

📕30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.📕31 එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක.( ලූක් 24 : 30, 31 )

9:👉ශුද්ධ වු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු "නව පාස්කු මංගල්‍ය "වන නිසා

📕8 එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.( 1 කොරින්ති 5 : 8 )

10:👉ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කිරීමෙන් සහ ශ්‍රී රුධිරය පානය කිරීමෙන් අපට "සදාතන ජීවනය" හිමි වන නිසා

📕54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.( ජොහන් 6 : 54 )

සතුට යනු කතෝලිකයකු වීමයි!

  • සාහිත පෙරේරා