BLANTERORBITv101

මරියතුමියගේ "ස්වර්ගාරෝපණ මංගල්‍යය"( අගෝස්තු 15 )

 


🔥ලෝකාරම්භයේදී ඒව විසින් සිදු කරන ලද පාපය "ජන්ම පාපය" ලෙස හදුන්වන අතර එම ජන්ම පාපයෙන් මුදවා ගැනීම සදහා "ගැලවුම්කරුවෙකු" එවීම සදහා දෙවියන් වහන්සේ පොරොන්දු වු සේක.

📕15 තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි.
ඔහු තගේ හිස පොඩි කරන්නේ ය;
තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.''
          (උත්පත්ති 3 : 15)

🔥එම ගැලවුම්කරුවාණන් වුයේ යක්ෂයාගේ හිස පොඩිකරනු ලැබු දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය.දෙවියන් වහන්සේගේ වැඩසිටීම ශුද්ධ වු භූමියක් තුළ විය යුතු බැවින්,

📕5 එවිට දෙවියන් වහන්සේ කතා කොට, ''මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ''යි වදාළ සේක.( නික්මයාම 3:5)

🔥දේව පුත්‍රයාණන් බිහිකිරීම සදහා පාප කිළුටින් තොර වු "ස්ත්‍රියක්" දෙවියන් වහන්සේ විසින් එම කාර්‍ය සදහා තෝරා ගත් සේක.

📕4 ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
              ( එපීස 1 : 4 )

🔥එතුමිය නම් පිළිසිදගත් මොහොතේ පටන් ජන්ම පාප කිළුටින් නිර්දෝෂී වු කන්‍ය මරියතුමියයි.

📕28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය.
            (  ලූක් 1 : 28 )

🔥එතුමිය ප්‍රථම ක්‍රිස්තු ශ්‍රාවිකාවිය වුවා සේම ක්‍රිස්තු සභාවේ මුල්ම සාමාජිකාවද වුවාය.ප්‍රථමයෙන් සුභාරංචිය එළිදරව් කරන ලද්දේද එතුමියටයි. ඒ අවස්ථාවේදී ශුද්ධ වු ත්‍රීත්වය ඇය වෙත අණාවරණය කරන ලදී.

📕35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ''ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.
               ( ලූක් 1 : 35 )

🔥ඒ නිසා කන්‍ය මරියතුමිය යුගාන්තවේදී සභාවේ අනුරුවක් වශයෙන්  හදුන්වා දීමට පුළුවන.එතුමිය සියළු පාප කිළුටෙන් නිදහස් වන්නා සේම ක්‍රිස්තුන් වහන්සේගේ සභාවද ශුද්ධ වු සභාවක්ම වන සේක.

📕26 උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,
📕27 එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.
                  ( එපීස 5 : 26, 27

🔥මරියතුමිය ජන්මපාප කිළුටින් පිලිසිදගත් මොහොතේ පටන් නිර්දෝෂී වුවා පමණක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමිය දේව වචනයේ "දාසිය" බවට පත්  වුවාය.

📕38 මරිය තුමී කතා කරමින්, ''බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා''යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.
                   ( ලූක් 1 : 38 )

🔥ක‍රිස්තුන් වහන්සේගේ නව ගිවිසුම තුළ ගැලවීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම එතුමිය "නව ඒවගේ" භූමිකාව මැනවින් ඉටුකරමින් සහයගැලවුම්කාරිය වූවාය. ( ජොහන් 2:1-10 , ජොහන් 19:26 )  මේ නිසා ඇය ජන්ම පාප කිළුටෙන් මෙන්ම සෑම කර්ම පාපයකින්ම නිර්දෝෂී කාන්තාව බවට පත් වුවාය. මේ නිසා දේව වචනයට අවනතව දිවිගෙවන්නන්ගේ පරමාදාර්ශී චරිතය වන්නේ ඇයයි.

📕35 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය''යි වදාළ සේක.
         ( මාක් 3 : 35 )

🔥එතුමිය ඉහත සදහන් පරිදි යුගාන්තවේදී සභාවේ අනුරුවක් වන නිසාවෙන්ම තමන්ගේ පෙම්බර මෑණියන් "සභාවේ මාතාව" වශයෙන් ක්‍රිස්තුන් වහන්සේ විසින් සභාවට දායාද කළ සේක.

📕27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ''මෙන්න ඔබේ මෑණියෝ ය''යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.

🔥මේ නිසා යුගාන්තවේදී සභාව විජයග්‍රාහී සභාවක් ( එළිදරව්ව 21:2 ) පත්වීමේ පුර්ව සංකේතයක් සහ අනුරුවක් වශයෙන් එතුමියගේ මෙලොව ජීවිතය අවසානයේදී ආත්ම සහ ශරීර පිටින් "ස්වර්ගයට ඔසවා ගැනීම" සභාවේ නිලවේද සතය්‍යතාවයක් ලෙසට සභාව විසින් නොවරදිනසුළු ( මතෙව් 16:19 ) ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. ඒ ක්‍රි:ව 1950 දී 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් MUNIFICENTISSIMUS DEUS නැමති "අපෝස්තලික වය්‍යවස්‍ථාව" මගිනි. නමුත් ක්‍රි:ව 350 දී රදගුරු ධූරය දැරූ ශු.එපිෆානියස් තුමන් විසින් රචිත Refutation of heresies නම් ග්‍රන්ථයේ මරියමාතාවන්ගේ "ස්වර්ගාරෝපණය" පිළිබදව සදහන් කොට ඇත.


ප්‍රොතෙස්තන්තවරුන් විසින් මෙම වේදසතය්‍යතාවය අභියෝගයට ලක්කිරීම සදහා යොදාගනු ලබන ප්‍රධානම තර්කය වන්නේ මෙම "වේදසතය්‍යතාවය" ශුද්ධ වු සභාව විසින් මෑතභාගයේ ඉදිරිපත්කල එකක් වන බවය.නමුත් "වේදසතය්‍යතාවයක්" ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කිසියම් වු දේවධාර්මීක සතය්‍යතාවයක් සභාව තුළ වේදභේද කරුවන් විසින් අභියෝගයට ලක් කරමින් සිටින අවස්ථාවකදී බව අවබෝධ කර ගත යුතුය.
උදාහරණ වශයෙන් මුල් කිතුනු සභාව තුළ "චර්මජේදනය" පිළිබදව ගැටළුව ඇති වු අවස්ථාවේදී එම ගැටළුව නිරාකරණය කිරීම සදහා සභාව විසින් ක්‍රියාකල ආකාරය පෙන්වාදිය හැකිය.

📕29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!''
📕30 මෙසේ යවනු ලැබූ ඔව්හු, අන්තියෝකියට පැමිණ, සමූහයා රැස් කරවා ලිපිය භාර දුන්හ.
            (  ක්‍රියා 15 : 29, 30 )

🔥දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබදව ශුද්ධ ලියවිල්ලෙහි සදහන් කරුණු පිළිබදව විග්‍රහ කිරීමේදී "එළිදරව්ව 12 " සදහන් වන "ස්ත්‍රිය" මරියමාතාවන් වශයෙන් පැහැදිලි ලෙසම සදහන් කල හැකිය.

📕1 තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි.
📕5 ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය.
       ( එළිදරව්ව 12 : 1, 5 )

🔥ගැබ්ගෙන සිටින "ස්ත්‍රිය" දරුවෙකු බිහිකිරීම මෙසියානික ලකුණක් වශයෙන් හදුන්වා දිය හැකිය.

📕14 සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.
       ( යෙසායා 7 : 14 )
📕3 එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය.
               ( මීකා 5 : 3 )

🔥ඉහත සදහන් දිවැස් වැකි 2 කම "මෙසියානික" අනාවැකි 2 ක් වශයෙන් පෙන්වා දිය හැකිය.

🔥එසේම මණුෂ්‍ය ජාතීන්  යගදාවකින් පාලනය කරන පිරිමි දරුවා( එළිදරව්ව 12:5 )  ක්‍රිස්තුන් වහන්සේ වන බව පැහැදිලි ලෙසම ප්‍රකාශ කළ හැකිය.

📕15 ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.
         (එළිදරව්ව 19 : 15)

🔥බොහෝ ප්‍රොතෙස්තන්තවරුන් මෙම "ස්ත්‍රිය" ක්‍රිස්තුන් වහන්සේ ගේ සභාව වන බව පෙන්වීමට උත්සහ කරති.නමුත් මෙහිදී සභාව විසින් කිසි විටකත් ජේසුස් වහන්සේ බිහි නොකළ බව සදහන් කල යුතුය. සිදුවුයේ ජේසුස් වහන්සේ විසින් සභාව බිහිකරනු ලැබීමයි. එසේ නම් මෙම "ස්ත්‍රිය" ජේසුස් වහන්සේ බිහිකළ ශුද්ධ වු කන්‍ය මරියතුමිය නොවන්නේ කෙසේද?

🔥තවද ශුද්ධ ලියවිල්ල තුළ ද්ව්ත්ව අර්ථ ඇති පද රාශියක් අන්තර්ගතව ඇති බව සදහන් කළ යුතුය.

1: පුරාණ ගිවිසුම තුළ දේව මාළිගය වුයේ ජෙරුසලම් දේව මාළිගයයි. නමුත් නව ගිවිසුම තුළ දේව මාළිගය වුයේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයයි.


📕20 එවිට ජුදෙව්වරු කතා කොට, ''මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ''යි ඇසූ හ.
📕21 එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය.

                (  ජොහන් 2 : 20, 21 )

👉2: තවද එළිදරව්ව ග්‍රන්ථය තුළ හිස් සත කදු හත ලෙසටත් තවත් විටක රජවරු සත් දෙනෙක් ලෙසටත් විස්තර කර ඇත.

📕9 ''නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි.
           ( එළිදරව්ව 17 : 9 )

🔥මේ නිසා විටක මෙම "ස්ත්‍රිය මගින් ක්‍රිස්තුන් වහන්සේගේ "සභාවද" තවත් විටක "මෙසියස් වහන්සේගේ මෑණියන්" වු දේව මාතාවන් වහන්සේවත් නිරූපණය කිරීම ගැටළුකාරී තත්වයක් ලෙස අර්ථ නිරූපනය කිරීම පදනම් විරහිත තර්කයකි.

🔥දේව මාතාවන් වහන්සේගේ "ස්වර්ගාරෝපණය" ඉහත සදහන් ආකාරයට අප මතු ලබන "සදාතන ගැලවීමේ "පුර්ව සළකුණක්" වශයෙන් පෙන්වා දිය හැකිය.

🔥ඒ නිසා එකම ප්‍රසාද ස්නාපනය තුළින් ( එපීස 4:5 ) ජන්ම පාපය පරාජය කළ නව ගිවිසුමේ දේව ජනතාවක් වන අප සැම  මරිමව්න් මෙන් දේව වචනයට අවනත වු ජීවිතයක් ගත කිරීම මගින් ස්වර්ගීක නිවහන කරා පියමං කිරීමට නිරන්තර සුදානමකින්  දිවි ගෙවිය යුතු වෙමු.

✍️සාහිත පෙරේරා